ඉන්දියාවෙන් පාකිස්ථානයට තවත් කෙනෙහෙලිකමක් – ඉන්දීය ක්‍රිකට් ජර්සියේ පාකිස්තාන නම මකයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් සත්කාරකත්වය දරන පාකිස්තානයේ නම සහිත එම තරගාවලියේ නිල ලාංඡනය ඉන්දීය ක්‍රිකට් ජර්සියේ මුද්‍රණය කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය විරුද්ධත්වය පළ කරයි. ඉන්දියාව සහභාගිවන තරග පමණක් දෙමුහුන් මාදිලියෙන් ඩුබායිහි මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවැත්වෙන බැවින් සත්කාරක පාකිස්තානයේ නම ඔවුන්ගේ ජර්සියට අවශ්‍ය නැති බව සඳහන් කොට තිබේ.
මෙලෙස ඉන්දියා ක්‍රිකට් ආයතනය විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කලබලයට පත්ව ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගෙන එන බවට චෝදනාවක් ද කළේය.
මේ අර්බුදයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත්ව ඇති අතර, අයිසීසී නිලධාරියකු මාධ්‍යයට පවසා ඇත්තේ තරගාවලියේ නිල ලාංඡනය සහිත නම ජර්සිය මත තැබීම සෑම කණ්ඩායමකම වගකීමක් බවය. අයිසීසීයේ ජාත්‍යන්තර තරගාවලි නීති රීති පිළිබඳ පැහැදිලි කරමින් එම නිලධාරියා අවධාරණය කර ඇත්තේ සියලු කණ්ඩායම් මේ රීතිය අනුගමනය කළ යුතු බවය. මෙවර චැම්පියන්ස් කුසලානයේ නිල ලාංඡනයට පටහැනිව ක්‍රියා කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අයිසීසී නිලධාරියා ප්‍රකාශ කළේය.
“ඔවුන් පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කළා. චැම්පියන්ස් කුසලාන සමාරම්භක උත්සවයට ඔවුන්ගේ නායක රෝහිත් ෂර්මා පාකිස්තානයට එනවාට ඔවුන් කැමති නැහැ. දැන් ඔවුන්ට තම ජර්සියේ සත්කාරක රටේ නම මුද්‍රණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත්. අපි විශ්වාස කරනවා අයිසීසීය මෙය සිදුවීමට ඉඩ නොතබා පාකිස්තානයේ පැත්ත ගනීවි කියලා” එම නිලධාරියා පැවසීය.
ලබන පෙබරවාරි 23 වැනිදා ඉන්දීය – පාකිස්තාන ක්‍රිකට් තරගය දිවා – රාත්‍රී තරගයක් ලෙස ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙමුහුන් ආකෘතියකින් පැවැත්වෙන මේ තරගාවලියේ පාකිස්තානය සිය පළමු තරගය පෙබරවාරි 19 වැනිදා නවසීලන්තය සමඟ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වනු ඇත. බංග්ලාදේශ – නවසීලන්ත හා පාකිස්තාන – බංග්ලාදේශ තරග ගඩාෆි හා රාවල්පින්ඩි ක්‍රීඩාංගණවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.