Cricket NewsEXCLUSIVEIPL

ලොව දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගය හෙල්ලූ අපේ සිංහ පුතුන්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා අවසන් වුයේ මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායමට කුළුඳුල් ශුරතාවය හිමිකර දෙමිනි.

දෙමසකට ආසන්න කාළයක් පැවති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා කණ්ඩායම් විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මෙවර මිල දී ගත් අතර තරඟාවලිය අතරවාරයේදී CSK කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණවද කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කලා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – වනිඳු හසරංග
ලක්නව් සුපර් ජයන්ට්ස් – දුෂ්මන්ත චමීර
පංජාබ් කිංග්ස් – භානුක රාජපක්ෂ
චෙන්නායි සුපර් කිංග්ස් – මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ
කොල්කටා නයිට් රයිඩර්ස් – චාමික කරුණාරත්න

ඉන්දීය ප්‍රිමියර් ලීගය අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලි සංචිතය සඳහා කැඳවීම නිසාවෙන් චාමික කරුණාරත්නට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ එකඳු තරඟයකට හෝ සහභාගී වීමට නොහැකි විය. ඒ අනුව මේ සටහන වෙන් වන්නේ මෙවර IPL තරඟාවලියේ අපේ ක්‍රීඩකයන් දැක්වූ උපිරි දස්කම් වෙනුවෙනි.

වනිඳු හසරංග (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)

පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී එතරම්ම සාර්ථක නොවූ වනිඳු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයට එක් වූයේ ඉහළම ලංසුවක්ද සමඟින්. තමා කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉෂ්ට කළ වනිඳු ප්‍රිමියර් ලීගය නිම කළේ කඩුලු 26ක් දවාගනිමින් ප්‍රිමියර් ලීගයේ දෙවන වැඩිම කඩුලුලාභියා බවටද පත්වෙමින්. තරඟාවලිය පුරා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු සිය පන්දු යැවීමේ සාමාන්‍ය 19.51ක් ලෙසද ලකුණු ලබා දීමේ සාමාන්‍ය 7.75ක් ලෙසද රඳවාගැනීමට සමත් විය.

භානුක රාජපක්ෂ (පංජාබ් කිංග්ස්)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පවා අවස්තාවක් ලබා නොදුන් මොහොතක ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට භානුක පත් වූයේ ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණය නිසාවෙන්මය. ඉණිම 9දී සාමාන්‍ය 22.88ක් ලෙස පවත්වාගනිමින් භානුක ලකුණු 206ක් රැස් කරගත් අතර ඔහුගේ ප්‍රහාරාත්ම වේගය දැක්වූයේ 159.68ක් ලෙසින් වීම විශේෂත්වයක්. තරඟාවලිය තුළදී භානුක 4 පහර 16ක් සහ 6 පහර 13ක් එල්ල කිරීමට සමත් විය.

මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංග්ස්)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ දෙකකට සහභාගී වූ මතීෂ එම තරඟ ද්විත්වය තුළ කඩුලු 2ක් දවාගැනීමට සමත් වූයේ පන්දු යැවීමේ සාමාන්‍යය 26.00ක් ලෙසත් ලකුණු ලබා දීමේ සාමාන්‍ය 7.06ක් ලෙසත් පවත්වාගනිමින්. එමෙන්ම තරඟාවලිය අවසානයේ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි අපේ මාලිංග යනුවෙන්ද මතීෂව ආම්න්ත්‍රණය කරමින් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට ප්‍රකාශ කොට තිබුණි.

මහීෂ් තීක්ෂණ (චෙන්නයි සුපර් කිංග්ස්)

තරඟාවලියේ තරඟ 9දී කඩුලු 12ක් දවාගත් මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීමේ සාමාන්‍ය 21.75ක් ලෙසත් ලකුණු ලබා දීමේ සාමාන්‍ය 7.45ක් ලෙසත් වාර්තා විණි. තරඟාවලියේ පන්දු දඟ කැවීම් වෙනස්කම් මෙන්ම පන්දු යැවීමේ වේගයේ වෙනස්කම්ද සිදු කරමින් ලොව පුරා රසික ආදරය දිනාගත් මහීෂ් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් තෙවන වැඩිම කඩුලු ලාභියාද විය.

දුෂ්මන්ත චමීර (ලක්නව් සුපර් ජයන්ට්ස්)

මේ වන විට ශ්‍රී ලංකාව සතු හොඳම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ ලක්නව් කණ්ඩායම නියෝජනය කරමින්. ලක්නව් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ තරඟ 12ට ක්‍රීඩා කළ දුෂ්මන්ත එහිදී කඩුලු 9ක් දවාගැණීමට සමත් විය. ඒ සාමාන්‍ය 42.66ක් ලෙසින් සහ ලකුණු ලබාදීමේ සාමාන්‍ය 8.72ක් ලෙස රඳවාගනිමින්.

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නැවතත් ඉන්දීය ප්‍රිමියර් ලීගය පිළිබඳව උනන්දුවක් ඇති කළ මෙම ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුල නැවුම් බලාපොරොත්තුවක් ඇති කිරීමට ද සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button