රට වෙනුවෙන් විවාහය කල් දැමූ “කැපවීමේ ක්‍රීඩකයා” සමුගනී: දිවි ගමන නිමා කරයි.

ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන ලද අසීමිත කැපවීම නිසාම ලෝක ප්‍රසිද්ධියට පත් වූ හිටපු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෝනි පිගොට් (Tony Pigott) වයස අවුරුදු 67ක්ව සිටියදී අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ටෝනි පිගොට් යන නාමය ක්‍රිකට් ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වූයේ 1984 වසරේදීය. නවසීලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ලැබුණු හදිසි ඇරයුම පිළිගැනීමට, ඔහු එදිනට නියමිතව තිබූ තමාගේම විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කළේය. රට වෙනුවෙන් කළ එම කැපවීම එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ.
සිය ක්‍රිකට් දිවිය තුළ පළමු පෙළ සහ ‘A’ ශ්‍රේණියේ තරගවලදී කඩුලු 1,000කට අධික ප්‍රමාණයක් බිඳ හෙලා ඇති පිගොට්, සසෙක්ස් (Sussex) කණ්ඩායම වෙනුවෙන් වසර 18ක අමිල සේවයක් ඉටු කළේය. පසුව එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළ ඔහු, 2003 වසරේදී සසෙක්ස් පිල සිය ප්‍රථම ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීම සඳහා ශක්තිමත් පදනමක් දැමූ නිලධාරියා ලෙසද ගෞරවයට පාත්‍ර වේ.
සිය මංගල පළමු පෙළ තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබා ගනිමින් සිය ආගමනය සනිටුහන් කළ ඔහු, එංගලන්ත ක්‍රිකට් පවුලේ සැබෑ උරුමකරුවෙකු ලෙස සැමදා මතකයේ රැඳෙනු ඇත
