Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවේ පවතින විදුලි බිඳවැටීම හා ඉන්ධන නොමැති වීම නිසා ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයටත් බාධා ඇතිවන ලකුණු.!

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සඳහන් කර ඇත්තේ ඉදිරි දිනවලදී රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවයි

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයකින් ශ්‍රී ලංකාව පසුවන බව නොරහසක්.

එමෙන්ම ඉන්ධන හිඟය හා විදුලිබල සැපයුම කප්පාදු කිරීම වැනි කරුණු ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලිය සදහා ද බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තිබෙනවා.

විදුලිය කප්පාදු කිරීමක් සිදු වුව හොත් දිවා රාත්‍රී තරග පැවැත්වීමට නොහැකි වීමේ අවදානමක්ද මතුව ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික විදුලි බල සැපයුමෙන් ක්‍රිකට් තරඟ සඳහා විදුලිබල සැපයුම ලබා නොගන්නා අතර ඒ සඳහා යොදා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු විදුලි ජනන යන්ත්‍රයි.

එම විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුවහොත් මෙම අර්බුදය හටහනු ඇත

ඒ හේතුවෙන් දිවා තරග පමණක් පවත්වන්නේ ද, දිවා රාත්‍රී තරග පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ඇති බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍යමය වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතිශය වැදගත් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මෙම තරඟ සංචාරයෙන් පමණක් ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වන අතර තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියනයක පමණ ලාභයක් හිමි වනු ඇති බව වාර්තා වනවා.

විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් සඳහා එළඹෙන ජූනි මාසයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button