Cricket NewsEXCLUSIVE

පන්දුවාර 50ට ලකුණූ 708ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා වූ පාසල් ක්‍රිකට් පිටියේ වාර්තාගත තරගය.!

වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලයේ සහ රාගම බැසිලිකා විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින තරගයක් ඊයේ (25) පැවැත්වුණා.

ඒ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී.

මෙහි දී වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලීය කණ්ඩායම තරගය ජයගත් අතර ඔවුන් එම ජයග්‍රහණය ලබා ගත්තේ ඇදහිය නොහැකි අයුරින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජෝසෆ් වාස් විද්‍යාලීය 15න් පහළ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ විශ්මිත ලෙස ලකුණු 708ක් ලබා ගැනීම එම සුවිශේෂීත්වය යි.

ඔවුන් එම දැවැන්ත ලකුණු ප්‍රමාණය වාර්තා කළේ කඩුළු 05ක් පමණක් ලබා දෙමින් වීම ද විශේෂත්වයක්.

එපමණක් නොව බැසිලිකා පන්දු යවන්නන් අසරණ කළ ජෝසෆ් වාස් විද්‍යාලීය 15න් පහළ නායක ඉනේෂ් දුලංජන ලබා ගත් ලකුණු ගණන 344ක් වීම ද කැපී පෙනුණා.

ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 130ක් පමණ යි.

ඉනේෂ්ගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර ගණන 19ක් වූ අතර ඔහු එල්ල කළ හතරේ පහර ගණන 44ක්.

තව ද ලකුණූ 200 සිට 300 දක්වා යාමට ඉනේෂ් වැය කළ පන්දු ගණන 29ක් පමණක් වීම ද විශේෂත්වයක්.

එම පන්දු 29 තුළ ඔහු රැස් කළ ලකුණු 100ට හයේ පහර 08ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වූවා.

එමෙන්ම ජෝසෆ් වාස් ඉනිමෙහි තුන්වැනි කඩුල්ල සඳහා ඉනේෂ් දුලංජන සහ නෙවින් සංකේත් එක්ව ගොඩනැගූ ලකුණු ගණන 452ක් තරම් දැවැන්ත අගයක් වූවා.

ඒ පන්දු 194ක් තුළ යි.

පන්දුවාර 50 අවසානයේ ජෝසෆ් වාස් කණ්ඩායම රැස් කළ ලකුණූ 708ට එරෙහිව බැසිලිකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණූ 709ක්.

කෙසේ වෙතත් රාගම බැසිලිකා විද්‍යාලීය 15න් පහළ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 43ක් පමණ යි.

ඒ අනුව වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලීය 15න් පහළ කණ්ඩායම ඊයේ (25) තරගය ජය ගත්තේ ලකුණූ 665කින් වීම ද කැපී පෙනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7