Cricket NewsEXCLUSIVE

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.!

1-0 ක් ලෙස ඇෆ්ගනිස්තානු පිල තරගාවලියේ පෙරමුණ ගෙන තිබියදී වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පතා ඔල්වරසන් ලබා දීම වෙනුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වටා එක්වූ ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය එලෙසින්ම රැකි චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී පල්ලකැලේදී ලද ජයග්‍රහණය මෙන්ම යළිත් වරක් අමතක නොවන ජයග්‍රහණයක් ඔවුන් වෙත ලබාදීමට ඊයේ (30) රාත්‍රියේදී සමත්වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා. අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

අවසන් පන්දුවාරය යැවූ ෆසල්හක් ෆරුකීගේ සිව්වැනි පන්දුවට ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් චරිත් අසලංක විසින් එල්ල කරන ලද හයේ පහරත් සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් වූයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොසින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත් වෙමිනි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීම සදහා අත්‍යාවශ්‍යම ජයග්‍රහණයක්ව තිබූ මෙම තරග ජයත් සමඟ ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය. ඒ සමඟම මේ වන විට ශ්‍රී ලංකාව ලබා සිටින සමස්ථ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ.

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත්ගේ පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය. තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණ පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි.

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය. චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා, සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි. අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය. මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

49 වැනි පන්දුවාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දු 12 කදී ලකුණු 29 ක් විය. එම පන්දුවාරය යැවූ ගුල්බාදීන් නයිබිට එරෙහිව හතරේ පහර 3 ක් එල්ල කරන වෙල්ලාලගේ එම පන්දුවාරයේදී ලකුණු 16 ක් ලබා ගැනීමට සමත්විය.

ලකුනු 314 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ආරම්භක පිතිකරුවන්ගෙන් දෙපළ පළමු කඩුල්ල සඳහා පන්දු 108 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් එක් කළහ. එහිදී අනගි පිතිහරඹයක නිරත වුණු කුසල් මෙන්ඩිස් පන්දු 61 කදී ලකුණු 67 ක්ද පැතුම් නිස්සංක ලකුනු 35 ක්ද ලබා ගත්හ. එවන් සම්බන්ධතාවක් පවත්වා තිබියදීම ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකුම ලකුණු 15 ක් ඇතුළත දැවී යෑම නිසා එතෙක් පවත්වාගෙන ආ වේගය රදවා ගැනීම මැද පෙළ පිතිකරුවන්ට අභියෝගයක් විය.

කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චරිත්ට එකතු වුණු චන්දිමාල් (33) පන්දු 48 කදී වේගවත් ලකුණු 48 ක්ද නායක දසුන් (43) සහ අසලංක පන්දු 68 කදී ලකුණු 79 ක්ද වාර්තා කොට ජයග්‍රහණය සදහා දායකවූහ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7