Cricket KnowledgeEXCLUSIVEInternational

“කොදෙව් පවුර” චන්ද්‍රපෝල්ගේ දෙවන ආගමනය – ටැග්නරීන් චන්ද්‍රපෝල් විසින් බුලවායෝ හිදී මැරතන් ඉනිමකින් සනිටුවහන් කරයි !

කොදෙව් ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුල එක් එක් යුගයන් හිදී අඩු වැඩි වශයෙන් එකී යුගයන් අතික්‍රමණය කල ක්‍රීඩකයන් බිහි වූවා. ශ්‍රීමත් ගැරී සෝබර්ස් නම් ටෙස්ට් පිතිකරුවා ටෙස්ට් පිටිය තුල ඉසිළූ නාමය අදටත් පුරාතන ක්‍රිකට් රසිකයන්ගේ සිත් තුල කිඳා බැසගත් නාමයක් වනවා. සෝබර්ස්ගෙව් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය හමාර වද්දීම විවියන් රිචර්ඩ්ස් ගේ ආගමනය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට වෙනත්ම ආනන්දයක් එක් කල බව නම් නොරසක්. දීර්ඝ ඉනිම් තුල විශිෂ්ඨතමයෙකු වූ,ජාත්‍යන්තර පිටියේ පෞද්ගලික ඉනිමක් තුල ලකුණු 400 සීමාව ස්පර්ශ කල පළමු හා එකම පිතිකරුවා වන බ්‍රයන් ලාරා අදටත් කොදෙව් දේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කල පිතිකරුවා ද වනවා.

මෙකී පිතිකරුවන් අතර කොදෙව් ටෙස්ට් පිටියේ අඛණ්ඩව වසර 21 ක් රැඳී සිටි ශිව්නරීන් චන්ද්‍රපෝල් සැලකෙන්නේ කොදෙව් දේශය බිහිකල ඉතා ඉහල ආරක්ෂණ තාක්ෂණයක් සහිත වූ පිතිකරුවෙකු ලෙසටයි. බේල්සයක් ආධාරයෙන් තම ආරක්ෂක ඉන්න සටහන් කිරීමේ සිට තම පිතිකරණ ඉරියව්ව දක්වාම ප්‍රේක්ෂකයින් තුල චන්ද්‍රපෝල් පිළිබඳව තිබෙන්නේ නොමැකෙන මතකයක් වීමද විශේෂත්වයක්. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම වරක් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ගණනක් නියෝජනය කලේද ඔහුයි. ඉනිම් 280 ක් අතුරින් ඉනිම් 49 කම නොදැවී සිටින්නට චන්ද්‍රපෝල් වගබලාගත්තේ තමා ටෙස්ට් පිටිය තුල සැබෑම “පවුරක්” බවට පත් වෙමින්.

සාමාන්‍යක් ලෙසින් ගත් කල ඉනිම් තුනකට වරක් ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කල චන්ද්‍රපෝල් කොදෙව් පිතිකරුවෙකු සතු වැඩිම ටෙස්ට් 50+ අවස්ථා ගනනේද හිමිකරුවායි.

ඉතා ප්‍රශස්ත වූ ටෙස්ට් පිතිකරණ වාර්ථාවක උරුම කරුවකු වන ශිව්නරීන් චන්ද්‍රපෝල් නාමයේ දෙවන ආගමනය සටහන් කරන්නට ශිව්ගේ පුත්‍රයා වූ ටැග්නරීන් චන්ද්‍රපෝල් හට අවකාශය ලැබෙන්නේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමත් සමඟයි. පියාගේ පිතිකරණ ඉරියව්වට අතිශය සමාන වූ පිතිකරණ ඉරියව්ව ටැග්ගේ පිතිකරණයට වෙනස්ම මුහුණුවරක් එක් කලේය.පියාගේ අනුදැනුම තුල ඉතා වේගවත් වර්ධනයක් දැක්වූ ටැග් දේශීය තරඟ තුල කොදෙව් ක්‍රීඩකයින් අතර ඉහල දස්කම් අතර රැඳෙන්නට වීමත් නව පන්දුවට හොඳින් මුහුණදීමටත් ඉතා ඉහළ ආරක්ෂණ තාක්ෂණයකින් සුපෝෂිත වීමත් ටැග් ගේ ජාත්‍යන්තර ආගමනය ඉක්මන් කරවීමට සමත් වූවා.

පියා මෙන්ම වමතින් පිත්ත හසුරුවන සුහුරු පිතිකරුවකු වූ ටැග්නරීන්ගේ පළමු පෙල සාමාන්‍ය 35 ක්.සෙසු කොදෙව් පිතිකරුවන් අතර එය ඉතාමත් හොඳ අගයක පැවතීමත් අවසන් කාල සීමාව තුල ටැග් එය ඉතා වේගයෙන් වර්ධනය කරගන්නා බවකුත් දක්නට ලැබුණා.

පර්ත් හිදී මංගලට ටෙස්ට් තරඟයට සහභාගී වූ ටැග් වේගපන්දු යවන්නන් හමුවේ ඉතා ඉහල දස්කම් හා ඉවසිලිවන්ත බවක් ප්‍රදර්ශනය කල අතර පළමු ඉනිමේදී ලකුණු 51 ක් හා දෙවන ඉනිමේදී ලකුණු 45 ක් රැස් කරන්නට සමත් වූවා.මංගල තරඟාවලිය සාර්ථකව හමාර කලේ ඉනිම් 4 කදී අවස්ථා 3 කදී ලකුණු 40 සීමාව ඉක්මවා යමින්.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය තෙවන ටෙස්ට් තරඟය සඳහා බුලවායෝ පිටියට පිවිසි ටැග්නරීන් චන්ද්‍රපෝල් අගනා අර්ධ ශතකයක් තම නම ඉදිරියෙහි ලියාගත්තේ නොදැවුණු ලකුණු 207 ක් රැස්කරගනිමින්. පන්දු 467 ක් පුරා ක්‍රියාත්මක වූ ටැග් ගේ මැරතන් ඉනිම පියා වූ ශිව්නරීන්ගේ පිතිකරණය ප්‍රේක්ෂකයින් ඉදිරියෙහි සටහන් කල ඉනිමක් වූවා. ටෙස්ට් පිතිකරුවෙකු සතු විය යුතු ගුණාංග සියල්ලකම නිමැවුමක් ලෙසින් 26 හැවරිදි ටැග්නරීන් නිරන්තරයෙන් විශේෂඥ විචාරකයින්ගේ ගෞරවයට පාත්‍ර වීම කැපී පෙනුණි. ඕනෑම තත්වයක් තුල දරාසිටීම සමඟින් දීර්ඝ ඉනිම් කරා යෑම පිතිකරුවෙකුට පහසු කරුණක් නොවේ. නමුත් ටැග් එහි ප්‍රවීණයෙකු බව ඔහුගේ කෙටි සමස්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දත්ත තුල පෙන්නුම් කරන්නට සමත් වෙනවා.

පියාගේ අඩිපාරේ යමින් සාර්ථක ටෙස්ට් ආරම්භක පිතිකරුවන් විරල වූ කොදෙව් ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුල නව යුගයක් නිර්මාණය කිරීම ටැග්නරීන් චන්ද්‍රපෝල් විසින් සිදුකරන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7