Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයක් කරා යෑමේ අපේක්ෂාවෙන් ඇරඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය.!

ශ්‍රී ලංකාව නවසීලන්තයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා මේ වසරේ මාර්තු මාසයේදී එක් වීමට නියමිතයි.ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලි අවසන් මහා තරඟයක් සඳහා යාමේ බලාපොරොත්තු පෙරදැරිවයි මෙවර තරඟාවලියට පිවිසෙන්නේ.

යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයක් කරා යා හැක්කේ නවසීලන්තය තම මව්රට තුලදී පූර්ණ තරඟාවලි පරාජයකට ලක් කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක් වන නමුත් ශ්‍රී ලංකාව නවසීලන්තය තුලදී තවමත් ජයගෙන තිබෙන්නේ එක් ටෙස්ට් තරඟාවලියක් වන අතර ඒ මීට වසර 18 කට පෙරදීය.

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට මුලින්ම දොරටු විවර වන්නේ 1992/93 කාලයේදීය.ශ්‍රී ලංකාවේ තුන්වන ටෙස්ට් නායකයා වන සෝමචන්ද්‍ර ද සිල්වා නායකත්වය ලබා දුන් එකම ටෙස්ට් තරඟාවලිය වූ මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ නවසීලන්තයයි. තවමත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය හෝ ලබා නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු උපමහද්වීපයෙන් පිටත මුහුණදුන් පළමු ටෙස්ට් තරඟාවලිය මෙය වීමද විශේෂත්වයක්.කෙසේ නමුත් තරඟාවලිය 2-0ක් ලෙසින් පරාජයට පත්වීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

නවසීලන්තය තුලදී ප්‍රථම ටෙස්ට් තරඟ ජය වාර්ථා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වසර 12 ක් බලාසිටින්නට සිදුවිය. අර්ජුණ රණතුංගයන්ගේ නායකත්වය යටතේ 1995 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2 කින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා එක්විය.

එහිදී පළමු ටෙස්ට් තරඟය සඳහා නැපියර් තණතිල්ල සත්කාරකත්වය ලබාදුන් අතර චමින්ද වාස්ගේ සුපිරි තුන් ඉරියව් දස්කම් මෙන්ම චාමර දුනුසිංහ,හශාන් තිලකරත්න,අරවින්ද ද සිල්වාගේ මනෝරම්‍ය පිතිකරණයත් නවසීලන්ත භූමියේ පළමු ටෙස්ට් තරඟ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට දොරගුලු විවර කලේ සමස්ත තරඟයේදී කඩුලු 10 ක් හා ලකුණු 69 ක් ද රැස් කල චමින්ද වාස් හට තරඟයේ වීරයා සම්මානයද හිමිකර දෙමිනි. දෙවන තරඟය ජයපරාජයකින් තොරව අවසන් වද්දී නවසීලන්තයේදී ටෙස්ට් ශතකයක් වාර්ථා කරගත් පළමු ශ්‍රී ලංකා පිතිකරුවා වන්නට අසංක ගුරුසිංහ සමත් වද්දී හෂාන් තිලකරත්නද තමන්ගේ නම ඉදිරියෙහි ශතකයක් ලියා ගත්තේය. දෙවන තරඟයේදීද ලකුණු 51 ක් හා නවසීලන්ත ඉනිමේ කඩුලු 6 කට වගකී චමින්ද වාස් තරඟයේ වීරයා ලෙසින් නම් කෙරීය.

අභියෝගාත්මක නවසීලන්ත තත්වයන් යටතේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ජයගන්නට හැකියාවක් ලබුනේ එක් තරඟාවලියක් පමණක් වන අතර තම මව්බිමේදී නවසීලන්තය දරා සිටින ආධිපත්‍ය බිඳදැමීම කෙතරම් අපහසුදැයි එමඟින් පෙනී යන අතර මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලි 9 කට නවසීලන්තය සත්කාරකත්වය ලබාදී තිබේ. එම තරඟාවලි 9 තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබෙන්නේ තරඟ දෙකක් පමණක් වන අතර ඒ 1995 ජයග්‍රාහී තරඟාවලියේ දී හා 2006 මහේලගේ නායකත්වය යටතේ මුහුණ දුන් තරඟාවලියේදී ය.

දෙරට අතර නවසීලන්තය තුලදී සිදුවූ අවසන් ටෙස්ට් ගැටුම සිදුවූයේ මීට වසර 5 කට පෙරදීය.දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වය යටතේ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් විය. පළමු තරඟය සඳහා ක්‍රයිස්චර්ච් හැග්ලේ ඕවල් පිටිය සත්කාරකත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී ලකුණු 423 ක පරාජයක් ලැබීමට සිදුවිය.

පළමු තරඟයේ අවමන් සහගත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ගෞරවය දෙවන ටෙස්ට් තරඟයේදී බේරාගන්නට කුසල් මෙන්ඩිස්ට හා ඇන්ජලෝ මැතිව්ස්ට හැකි වූයේ වාර්ථාගත පිතිකරණය නියැලීම හේතුවෙනි. විටින් විට වර්ෂාව නිසා තරඟයට බාධා සිදුවද්දී තරඟයේ සිව්වන දිනයේදී කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමස්ත දිනයේදීම නොදැවී ක්‍රීඩා කල අතර නවසීලන්තය තුලදී එසේ දස්කමක් දැක්වූ ප්‍රථම ශ්‍රීලංකා පිතිකරුවන් දෙදෙනා ලෙස වාර්ථා පොත් අලුත් කලේය.කුසල් නොදැවී ලකුණු 141 ක් හා මැතිව්ස් නොදැවී ලකුණු 120 ක් රැස් කලේය.

ශ්‍රී ලංකාව නවසීලන්තය තුලදී ඉනිම රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 498ක් එය රැස් කලේ 2005 තරඟාවලිය තුලදී වන අතර ශ්‍රී ලංකාව නවසීලන්තය තුලදී ඉනිමකදී 400 ඉක්මවා රැස් කර තිබෙන්නේ අවස්ථා 4කදී පමණක් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවසීලන්තය තුලදී වැඩිම ලකුණු රැස් කර ඇත්තේ අරවින්ද ද සිල්වා වන අතර ඒ ඉනිම් 13කදී ශතකයක් හා ද්විත්ව ශතකයක් සමඟින් ලකුණු 595ක් රැස් කරමිනි.

අදටත් නවසීලන්තය තුල ශ්‍රී ලංකා පන්දුයවන්නෙකු බිඳ දැමූ වැඩිම කඩුළු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්ව ඇත්තේ චමින්ද වාස් වන අතර ඔහු ඉනිම 14කදී කඩුළු 36ක් බිඳහෙලීමට සමත් වූයේ කඩුළු 5 අවස්ථා 4ක්ද සමඟින් වීම සුවිශේෂී දස්කමකි.

අවසන් නවසීලන්ත තරඟාවලිය තුලදීද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පිතිකරුවන් කිහිප දෙනෙක්ම මෙවර තරඟාවලිය සඳහා එක්වීම අත්දැකීම් අතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර අත්තිවාරමක් දමනු ඇතැයි අපේක්ෂා කිරීමට පුලුවන්.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිටින පිතිකරුවන් අතුරින් නවසීලන්තයේදී වැඩිම ලකුණු රැස් කර තිබෙන්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු තරඟ 4 කදී එක් ශතකයක් ද සමඟින් ලකුනු 356 ක් රැස් කරගෙන සිටින්නේ ලකුණු 50 ක සාමාන්‍යක්ද සහිතවයි.

කෙසේ නමුත් සමස්ත තරඟාවලිය ජයග්‍රහණය කරන්නට නම් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ඉතිහාසය අලුතින් ලියන්නට සිදුවනවා නොඅනුමානයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7