Cricket NewsEXCLUSIVEInternational

ඇෆ්ගනිස්තානය කඩුලු 9ක් අතැතිව ලකුණු 42ක් පසුපසින් – වසර 32ක් පැරණි අර්ජුන-ගුරුසිංහගේ ටෙස්ට් වාර්තාවක් බිඳ වැටෙයි

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන කුලුඳුල් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිලට වඩා ඇෆ්ගනිස්තානය කඩුලු 9ක් අතැතිව ලකුණු 42ක් පසුපසින් සිටී. පිතිකරුවන්ට පාරාදීසයක් වූ එස්එස්සී තණතිල්ලේ සියලු වාසි ගෙන ඉතා සංයමයෙන් ඉනිම ගොඩනඟමින් සිටින ඇෆ්ගනිස්තාන පිල දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා සිටියේය.

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ ඉබ්‍රහිම් සද්‍රාන් හා නූර් අලී සද්‍රාන් එක්ව පළමු කඩුල්ලට ලකුණු 106ක සම්බන්ධතාවක් ගොඩනැඟූ අතර, මංගල තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව උදුරාගත් අසිත ප්‍රනාන්දු කඩුල්ල මුවා කිරීමේ වරදට නූර් අලී සද්‍රාන් හසු කර ගැනීමෙන් ලකුණු 47කට දැවී ගියේය. ඇෆ්ගනිස්තාන පළමු ඉනිමේදී ලකුණු 91ක් ලබා ගැලවුම්කරුවා බවට පත්වූ රහ්මට් ෂා ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සද්‍රාන් සමඟ එක්වී දෙවැනි කඩුල්ලට ලකුණු 93ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැඟීමෙන් ඉනිම ශක්තිමත් වී තිබේ.

ඉබ්‍රහිම් සද්‍රාන් තම ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා පොතට එක් කරමින් පන්දු 217කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 101ක් හා රහ්මට් ෂා පන්දු 98කදී හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 46ක් ගෙන තම සිව්වැනි අර්ධ ශතකය ආසන්නයේ සිටී.

කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නායක ධනංජය ද සිල්වා දිනාගෙන මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ඇෆ්ගනිස්තානය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 198ක් වාර්තා කළේය. පෙරේදා තරගයේ දෙවැනි දිනය නවතා දමද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 6කට ලකුණු 410ක් ලබා සිටි අතර, ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 12කට බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439කින් නිමාවට පත් විය. මේ සමඟ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් සිය 16 වැනි ටෙස්ට් ශතකය රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් තම 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීම ශ්‍රී ලංකා පිලට විශාලතම ශක්තිය විය. මැතිව්ස් හා චන්දිමාල් එස්එස්සී පිටියේ අර්ජුන රණතුංග හා අසංක ගුරුසිංහ එක්ව තැබූ වසර 32ක් පැරණි වාර්තාවක් බිඳ දමමින් පිතිකරණයේ යෙදීම විශේෂත්වයකි. රණතුංහ හා ගුරුසිංහ එස්එස්සී පිටියේ 4 වැනි කඩුල්ලට ලකුණු 230ක් රැස් කොට තිබූ වාර්තාව මැතිව්ස් හා චන්දිමාල් ලකුණු 232ක සම්බන්ධතාවකින් බිඳ හෙළීමට සමත් වූහ.

චන්දිමාල්ගේ ඉනිම ලකුණු 107කටත්, මැතිව්ස්ගේ ඉනිම ලකුණු 141කටත් නිමාවූ අතර, මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේ කායිස් අහමඩ් එවූ පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්ත කඩුල්ලේ වැදීම හේතුවෙනි.

ඇෆ්ගනිස්තානයේ සාර්ථක පන්දු යවන්නා බවට පත්වූ මඳ වේග පන්දු යවන නවීඩ් සද්‍රාන් ලකුණු 83කට කඩුලු 4ක් බිඳහෙළූ අතර, ආරම්භක වේග පන්දු යැවූ නිජාට් මසූඩ් හා පා දඟ පන්දු යැවූ කායිස් අහමඩ් කඩුලු 2 බැගින් බිඳ හෙළා ගත්හ.

මේ ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
2
+1
4
+1
2
+1
4
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7