අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා-එංගලන්ත ගැටුම අද
අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි විස්සයි20 තරගය අද (30) පෙරවරු 10.00ට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද තරගය දෙපිලටම තීරණාත්මක වී ඇති අතර, ඒ මේ දෙපිලම ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එක් ජයග්‍රහණය බැගින් ලබා සිටින හෙයිනි.
මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග 4ක් ක්‍රීඩා කළ යුතු අතර, අනතුරුව කණ්ඩායම් 3 අතර එක්දින තරගාවලියක් පැවැත්වේ. මේ තරගාවලි ද්විත්වය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවනු ඇත.
මේ අතර තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ එංගලන්තයට එරෙහිව පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 35කින් පරාජයට පත් වූහ.
එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 19.3කදී සියල්ලන් දැවී ලකුණු 146ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 111ක් පමණි.
ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර පළමු ඕවරයෙන්ම පිතිකාරිනියන් දෙදෙනකු පිටියෙන් ඉවත් කිරීමට ඇලෙක්සා ස්ටෝන්හවුස් සමත් වූ අතර, මුළු ලකුණු 50ක් වන විට තවත් කඩුලු 3ක් අහිමි කිරීමට සොෆියා ස්මේල් සමත් වූවාය. 6 වැනි කඩුල්ලට එක් වූ එලිනෝර් ලාරෝසා සහ හස්රත් ගිල් පන්දු 42කින් ලකුණු 61ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟුව ද කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවිණි. ගිල් ලකුණු 40ක් සහ ලාරෝසා ලකුණු 41ක් රැස් කළහ.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජෝසි ග්‍රෝව්ස් මේ තරගාවලියේ පළමු අර්ධ ශතකලාභිනිය බවට පත් වූයේ පන්දු 41කින් ලකුණු 57ක් රැස් කරමිනි. ජෝඩි ගෲකොක් ලකුණු 31ක් රැස් කළ අතර, සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී හස්රත් ගිල් කඩුලු 4ක්, සියෙනා ඒවා කඩුලු 3ක් සහ ලුසී හැමිල්ටන් කඩුලු 2ක් දවා ගත්හ.
මේ තරගාවලියට හෙට (31) විවේක දිනයකි.