ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ, බංගලාදේශය පරදා තුන්කොන් ක්‍රිකට් ශූරතාව දිනති.
අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී සත්කාරක බංග්ලාදේශය පරදවා ශූරතාව දිනා ගැනීමට මනුදි නානායක්කාරගේ නායකත්වයේ තරග කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පාකිස්තාන කණ්ඩායමත් එක්වූ මේ තරගාවලියේ අවසන් තරගය තෙක් අපරාජිතයන් ලෙස පැමිණි බංග්ලාදේශ පිල මේ තරගයේදී ලකුණු 36කින් පරාජය විය.
ඊයේ කොක්ස් බසාර්හිදී පැවති අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 148ක් රැස් කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 112ක් පමණි.
රබෙයා ලකුණු 31ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර, පන්දු යැවීමේදී දෙව්මි විහංගා කඩුලු 3ක්, යසන්ති නිමන්තිකා සහ රස්මි සංජනා කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් නෙත්මි පූර්ණා සහ දෙව්මි විහංගා පළමු කඩුල්ලට ලකුණු 104ක් එක් කළේ පන්දු 86කිනි. පන්දු 42කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 49ක් රැස් කර සිටි දෙව්මි දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ නෙත්මි ලකුණු 66ක් රැස් කළේ පන්දු 57කදී හතරේ පහර 8ක් සමඟිනි. විශ්මි ගුණරත්න ලකුණු 14ක්, මනුදි නානායක්කාර ලකුණු 7ක් සහ රශ්මි නේත්‍රාංජලී නොදැවී ලකුණු 7ක් ඉනිමට එක් කළහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දෙව්මි විහංගා සම්මාන දිනා ගත්තාය.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 148/3 (ඕවර 20) නෙත්මි පූර්ණා 66, දෙව්මි විහංගා 49, විශ්මි ගුණරත්න 14
බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිල – 112/8 (ඕවර 20) රබෙයා 31 (දෙව්මි විහංගා 13/3, යසන්ති නිමන්තිකා 16/2, රස්මි සංජනා 23/2)