Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

වසර 73ට පසු ‘බිග් මැච්’ බලන්න ස්ටැන්ලි ජයසිංහට ආරාධනා

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ස්ටැන්ලි ජයසිංහට එළඹෙන මාර්තු 2 සහ 3 දෙදින පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය නැරඹීමට පැමිණෙන ලෙස නිල වශයෙන් ආරාධනා කිරීම පසුගියදා සිදු කෙරිණි. ස්ටැන්ලි ජයසිංහ 1951 වර්ෂයේදී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම් නායකත්වය දරා තිබෙන අතර ඔහු මේ වන විට සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාද වේ.

1931 වර්ෂයේ බදුල්ලේදී උපත ලද ස්ටැන්ලි ජයසිංහ නාලන්දා විද්‍යාලය නියෝජනය කරන අවදියේදීම ජාතික කණ්ඩායම (එවකට සිලෝන් කණ්ඩායම) නියෝජනය කිරීමටත් වරම් හිමි කරගත් අතර ඔහු එංගලන්තයේ ‘පළමු පෙළ’ ක්‍රිකට් ක්‍රීඩා කළ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වේ. එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ පළමු ආසියාතිකයා වෙමින් ඔහු සඳහන්ව තිබෙන වාර්තාවන්ට අනුව පළමු පෙළ තරග 144දී ශතක 10ක් සමගින් ලකුණු 6811ක් ලබා ගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවකු වශයෙන්ද 1991 වර්ෂයේදී කටයුතු කොට තිබේ. මෙම අවස්ථාව සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
2
+1
2
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button