Cricket NewsEXCLUSIVEInternationalTrending Article

විරාත් කෝලීගේ සහ ගෞතම් ගාම්භීර්ගේ ගැටුම සහ අළු යට ගිණි මෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වරින් වර ඉහළට එන කුල ගැටුම.!

IPL තරගයක් අවසානයේ ඇති වෙච්ච විරාත් කෝලීගේ සහ ගෞතම් ගාම්භීර්ගේ ගැටුම සමස්ත ක්‍රිකට් ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් වෙලා.

මේ ගම්භීර් සහ කෝලී IPL පිටියක ගැටුනු එකම අවස්තාව නෙවෙයි, මීට කලිනුත් ගම්භීර් ක්‍රීඩා කරන කාලයේ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් හට ගත්තා.

දැන් ගම්භීර් පුහුණුකරුවෙක්. කෝලි තවමත් ක්‍රීඩා කරනවා. විරාත් කෝලි කියන්නේ වර්තමාන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයා. ගෞතම් ගම්භීර් කියන්නෙත් ඉන්දියාවට ලෝක කුසලානයක් දිනලා දීපු ඉන්දියාවේ වීරයෙක්. ඉන්දියානු වීරයො එකිනෙකා ගැටුනු පළමු අවස්තාව මේක නෙවෙයි.

මේක ක්‍රිකට් තරගයක් අතරතුර, තරගයේ උණුසුම නිසා ඇතිවුනු ගැටුමක් කියලා පෙනුනට මේ ගැටුමේ තවත් කතාවක් තියෙනවා.

ඉන්දියාවත් අපේ රට වගේ. සමහර වෙලාවට අපේ රටටත් වඩා දරුණු බෙදීම් ඉන්දියාවේ තියෙනවා. ජාතින් වශයෙන්, ආගම් වශයෙන් බෙදුනු ඉන්දියාවේ ඊටත් වඩා උග්‍ර තවත් බෙදීමක් තියෙනවා. ඒ දරුණු කුල වාදය. ඉන්දියාවේ බොහෝ පැති වල කුලහීනයන්ට තවමත් ඉඩමකට අයිතිවාසිකම් කියන්න බැහැ. ඔවුන්ට සෙරෙප්පු දාන්න බැහැ, පාසල් යන්න බැහැ.
ඕනෑම නොවිසඳෙන අපරාධයකට ඉන්දියානු පොලීසිය අල්ලගෙන ගිහින් නඩු දාන්නේ අඩු කුලයේ මිනිසුන්ට. ඔවුන් ජීවත් වෙන්නේ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඉහළ කුලයේ මිනිසුන්ගේ වහලුන් විදියට.

කාලයකදී ඉන්දියාවෙ හැම ප්‍රාන්තයකම කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළ මිණි ඉවත් කිරීම කුලහීනයන්ට භාර වුනා. ඔවුන් එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් බෙල්ලා එල්ලා ගත යුතුව තිබුනා.

ඒ විතරක් නෙවෙයි පාරේ ඔවුන්ගේ පතුල් සලකුණු මැකී යන්න ඉදලක් ඇදගෙන යන්නත් නියම කරලා තිබුනා. මේ තත්ත්වය තරමක් හෝ අඩු කරන්න බෞද්ධයෙක් වුනු අම්බෙඩ්කාර් විශාල සටනක් ගෙන ගියා. අදටත් ඉන්දියාවේ කුලහීනයෝ අම්බෙඩ්කාර් ට දෙවියෙකුට වගේ සලකනවා. හැබැයි ඉන්දියාවේ දරුණු කුලවාදය නැත්තටම නැති කරන්න අම්බෙඩ්කාර්ටත් බැරි වුනා. විවිධ දේවල් මත බෙදිලා ඉන්න කෝටි 140ක මිනිස්සු එකට අල්ලගෙන, බැඳලා තියාගන්න සාධක දෙකක් තියෙනවා.

එකක් ඉන්දියානු සිනමාව, අනෙක ක්‍රිකට් ක්‍රීඩාව. නමුත් මේ ක්ෂේත්‍ර වලත් බෙදීම් නැත්තටම නැතුව නෙවෙයි. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලෙත් ඉතාම පරෙස්සමින්, අලු යට කුලවාදය පවතිනවා. නමුත් ඒ කුලවාදයේ ගිනි දැල් මතුපිටට ඇවිත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කෙරෙන මට්ටමට උණුසුම් වීමට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉහළ කුලය ලෙස සැලකෙන්නේ “බ්‍රාහ්මණ” කුලය, ඊට පහත් කුලයන් බොහෝමයක් තියෙනවා.

2007 ලෝක කුසලාන පරාජයෙන් පස්සේ ඉන්දියානු නායකත්ව කිරුළ හිමි වුනේ මහේන්ද්‍ර සිං දෝනි ට. ඔහු තරමක් පහත් යැයි සැලකෙන “රාජ්පුත්” කුලයේ. ඉන්පෙර නායකත්වය දරපු සෞරව් ගංගුලි ලා, සචින් තෙන්දුල්කාර් ලා වගේම රාහුල් ඩ්‍රාවිඩ් ලා අනිල් කුම්බ්ලේ ලා බ්‍රාහ්මණ කුලයේ ක්‍රීඩකයො. ඇතැම් වෙලාවට ඉන්දියාවේ ප්‍රාන්ත කණ්ඩායම් වලට වගේම ජාතික කණ්ඩායමේ තේරීම් කරද්දි, නායකයො තෝරද්දි කුලය සලකා බැලෙන බව ප්‍රසිද්ධ රහසක්.

ඒ කාලේ ඉන්දියාවේ බොහෝ දෙනෙක් හිතුවේ මහේන්ද්‍ර සිං දෝනිට නායකත්වය ලැබුනේ තාවකාලික සැලසුමක ප්‍රතිඵලයක් විදියට කියලා. අලුත් නායකයෙකු ගෙන එන තුරු බිඳ වැටුනු කණ්ඩායමක් දෝනි ගේ කර උඩින් තිව්වා. නමුත් දෝනි නායකත්වය අරගෙන පළවෙනි තරගාවලියෙන්ම ඒ සැලසුම් සුනු විසුනු කරලා දැම්මා. කඩා වැටුනු කණ්ඩායමකින් ලෝක කුසලාන දිනලා නායකත්වය ස්තිර කරගත්තා. සචින් තෙන්දුල්කාර් ගේ වයසේම පසුවෙච්ච, සචින් සමග තරුණ කාලයේ සංසන්ධනය වෙච්ච තරුණ ක්‍රීඩකයෙක් හිටියා, විනෝද් කම්බිලි. නමුත් ඔහුට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමි වෙන්නේ නැහැ.

තමන්ට අසාධාරණයක් වුන බවත්, ඒකට හේතුව තමන් කුලහීනයෙක් වීම බවත් විනෝද් කම්බිලි පසුව කියනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දිනන්න පුලුවන් හැම සම්මානයම දිනපු මහේන්ද්‍ර සිං දෝනී ඉන්දියාවේ වගේම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම විශිෂ්ඨ නායකයෙක්.

හැබැයි ඉන්දියාවේ සැලකිය යුතු ක්‍රිකට් රසිකයන් පිරිසකට අනුව හොදම නායකයා වෙන්නේ බ්‍රාහ්මණ සෞරව් ගංගුලි.
සැබැවින්ම චෙන්නායි කණ්ඩායමට අදාල තමිල්නාඩුව හැරුනු කොට සෙසු ප්‍රාන්ත වල දෝනිට විශාල රසික පිරිසක් නැහැ.
කුලහීනයෙක් ඉන්දියානු ක්‍රිකට් නායකත්වය දරනවාට ඇතැම් ඉන්දියානු රසිකයන් එතරම් ප්‍රිය කරන්නේ නැහැ.
නමුත් 2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දේවත්වයට පත්වුනා.
ඔහුට අත තැබීමට බ්‍රාහ්මණයන්ට තබා, මහා බ්‍රාහ්මයාටවත් කළ නොහැක්කක් වුනා.

2011 ලෝක කුසලානයෙන් පස්සේ ඉන්දීය කණ්ඩායම දරුණු විදියට දෙකඩ වෙනවා. ඉන්දියානු ලෝක කුසලානයේ වීරයා වගේම කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙක් වුනු ගෞතම් ගම්භීර්ට කණ්ඩායමේ සිය ස්ථානය ක්‍රමයෙන් අහිමි වුනා.
ගම්භීර් හිටියේ දෝනිගෙන් පස්සේ නායකත්වය භාර ගන්න. නමුත් දෝනි ක්‍රමක්‍රමයෙන් ඔහු ඉවත් කරලා, විරාත් කෝලී ඊළග නායකයා විදියට ගෘම් කළා.

කෝලි සහ ගම්භීර් අතර මත ගැටුම ඇතිවෙන්නේ මේ නායකත්ව පොරය නිසා. විරාත් කෝලිත් බ්‍රාහ්මණයෙක් නෙවෙයි.
කෝලි ඉන්දියානු නායකත්වයට පත් වෙන්නේ සුපිරි තරුවක් විදියට, ලෝකයේ සුපිරිතම පිතිකරුවා විදියට.

නමුත් ඒ වෙද්දි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව ලෝක ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගලා තිබුනා. ඉන්දියානු රසිකයො හැම ලෝක කුසලානයකම ජයග්‍රහණය බලාපොරොත්තු වෙමින් සිටියා.

ඒ බලපොරොත්තු ඉටු කරන්න නායකයෙක් විදියට කෝලිට නොහැකි වුනා. එම නිසා නායකයෙක් ලෙස ඇතැමෙකු ඔහු ප්‍රශ්න කළා.

භාරතීය ජනතා පක්ෂයට සහය පළ කරන මාධ්‍ය කෝලි දැඩිව විවේචනය කළා. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුළට සෑම අතින්ම සුදුසුකම් කියන සෞරව් ගංගුලි ඉන්දියානු ක්‍රිකට් මුල් පුටුවට එන්නේ මේ කාලයේ. ඉන්දියාවේ අතිශය වැදගත් වගේම බලවත් බෙංගාල ප්‍රාන්තයේ “කුමාරයා” විදියට හැඳින්වෙන්නේ ගංගුලි.

කොච්චර බලවත් වුනත්, කොච්චර සුපිරි තරුවක් වුනත් ගංගුලිගේ කැපිල්ලෙන් බේරෙන්න කෝලිට නොහැකි වුනා. ගංගුලිගේ බලපෑම් හමුවේ කෝලි ඉන්දීය නායකත්වය අත්හැරියා. යළිත් බ්‍රාහ්මණ රෝහිත් ෂර්මාට ඉන්දියානු නායකත්වය හිමිවුනා.
ගම්භීර් ලා, ගංගුලි ලා ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයො වගේම, ඔවුන් ඉන්දියානු දේශපාලනයටත් සම්බන්ධයි.

ඔවුන් කටයුතු කරන්නේ “හින්දු බ්‍රාහ්මණ සුප්‍රීමසි” අයිඩියොලොජියක් එක්ක එන BJP එකත් එක්ක. ගම්භීර් දැනටමත් ඉන්දීය ලෝක් සභාවේ හාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙක්.

කෝලි – ගම්භීර් ගැටුමට කළින්, පෙර තරගයක කෝලි ගංගුලිට හස්ථ සංඥාවක් දුන්නා. ඊයේ කෝලි, ගම්භීර් එක්ක ගැටුනා. ඊට කලින් කෝලි, දෝනිව වර්ණනා කළා. 2011 ලෝක කුසලානයේ වැඩි අයිතිය දෝනිගේ බව කිව්වා. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගුවේ දෝනි බව කිව්වා.

ඒ කතා සීරු මාරුවට අරගෙන බැලුවොත්, ඒ දෝනි ට කරපු වර්ණනාවන්ට වඩා ගම්භීර් ට සහ ගංගුලි ට කරපු විවේචන.මේ සියලූම දේ කණ්ඩායම ඇතුලේ දේශපාලනයක් හෝ පුද්ගලික කෝන්තර පමනක් නෙවෙයි.IPL පිටියේ එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර දකින ගැටුම් පසුපස සැඟවුනු ලොකු කතාවක් තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
11
+1
4
+1
26
+1
10
+1
4
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button