Cricket NewsEXCLUSIVE

පකිස්තානයට තම මව් රටතුලදීම 3-0 ක අවමන් සහගත පරාජයක් අත්කර දෙමින් එංගලන්තය ක්‍රිකට් පොත් අලුත් කරයි – බාබර් අසාම්ගේ නායකත්වයටත් විවේචන.!

එංගලන්ත කණ්ඩායම මේ වසර තුල තරඟ ආකෘති තුනෙහිම විශාල සාර්ථකත්වයක් අත්කරගෙන අවසන්.ලෝක ශූරයින් වීමෙන් අනතුරුව දීර්ඝතම තරඟ ආකෘතිය තුල ඔවුන්ගේ මීලඟ නැවතුම වූයේ පකිස්තානයයි. වසර 17 කට පසුව පකිස්තානය තම මව්‍ රට තුලදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියකට සත්කාරකත්වය සැපයීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කරුණක් වූවා.

මැකලම්-ස්ටෝක්ස් යුගය තුල ඔවුන් සහභාගී වන පළමු ආසියාතික ටෙස්ට් තරඟාවලිය ආරම්භ වූයේ රාවල්පින්ඩි හිදීය. සාම්ප්‍රදායික තරඟ රටාවට අලුත් හැඩයක් එක් කරන මැකලම්-ස්ටෝක්ස් යුගයට සරිලන දීර්ඝ කාලීන අයෝජනයන් ගණනාවක් මෙවර තරඟාවලියට එක් කරගන්නට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණි. බෙන් ඩකට්,හැරී බෲක්ස්,විල් ජැක්ස් හා ලියම් ලිවිංග්ස්ටන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් එහිදී දිනාගත්තේය.එංගලන්තය තම නව ආරයේ ටෙස්ට් ක්‍රිකට් තරඟ රටාව තුල පළමු දිනයේ පන්දුවාර 75 ක් තුල ලකුණු 500 ක් ඉක්මවා රැස් කිරීමට හැකියාවක් තමන් සතු බව පෙන්වීය.

එංගලන්තයේ පළමු ඉනිම වූ ලකුණු 657 ට පිළිතුරු ලෙසින් පකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 579 ක් රැස් කලේ තරඟය බොහෝ විට ජයපැරදුමෙන් තොරව අවසන් වනු ඇති බවට ඉඟි කරමිනි.මංගල තරඟයේදී ශතක ලබාගත් ඩකට් හා බෲක්ස් නව වාර්ථා කිහිපයක් පින්ඩි හිදී අලුත් කලේය.

දෙවන ඉනිමට කඩුලු 7 ක් පමණක් දැවී වේගවත් ලකුණු 267 ක් සිය දෙවන ඉනිමට එක් කරගත් එංගලන්තය දෙපිලටම තරඟය විවෘත කරමින් ජයපැරදුමෙන් තොර අවසානයක් ප්‍රතික්ෂේප කලේ සත්කාරක පකිස්තානුවන් පරාජය කිරීමට මුල්ම පියවර ලෙසින් ඉනිම අත්හිටුවමිනි.

කාගේත් අවධානය දිනාගත් තරඟයේ සිව්වැනි ඉනිම කරට කර සටනක් නිර්මාණය කර තිබුණු අතර ඔලී රොබින්සන් හා ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සත්කාරක ක්‍රීඩකයින් පළමු ටෙස්ට් ගැටුමෙන් ලකුණු 74 ක පරාජයක් අත්කර ගත්තේය.තරඟයේ වීරයා ලෙසින් තුන්ඉරියව්වෙන්ම දස්කම් පෑ ඔලී රොබින්සන් සම්මාන හිමිකරගත්තේය.

සංචාරක එංගලන්තය තරඟාවලියේ පෙරමුණෙහි පසුවෙමින් දෙවනි ටෙස්ට් තරඟය මුල්තාන් හිදී ආරම්භ විය.දේශීය පිටියේ කැපී පෙනෙන මායාකාරී පන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන අබ්‍රාර් අහමඩ් පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තේය.ආබාධයකට ලක්ව සිටි මාක් වුඩ් යලිත් එංගලන්ත කණ්ඩායම තුලට පැමිණ සිටියේය.තරඟයේ තෙවන හා සිව්වැනි ඉනිම් තුල තරඟය වඩාත් උද්වේගර වී තිබුණි.බෲක්ස්ගේ ශතකයෙන් පන්නර ලැබූ එංගලන්තය සත්කාර ක්‍රීඩකයින්ට ලකුණු 355 ක ඉලක්කයක් තිලිණ කලේය.පකිස්තානු දෙවන ඉනිම තුලදී ඔවුන්ට ලකුණු 355 ක ඉලක්කයක් හඹායෑමට අවශ්‍ය අඩිතාලම දමන්නට ශකීල්-ඉමාම් යුගලට හැකි විය.ඉන් අන්තුරුව නවාස් සමඟින් එක් වූ ශකීල් ලකුණු 80 සබඳතාවයක් ගොඩනගිමින් ලකුනු පුවරුව ලකුණු 290 ක් දක්වා රැගෙන ආවේය.

සෞද් ශකීල් පසුපෙල පිතිකරුවන් 4 දෙනෙක් සමඟින් එක්ව ඉතිරි ලකුණු 65 ලබාගනු ඇතැයි බොහෝ දෙනා මත පල කල නමුත් යලිත් සක්‍රීය වූ මාක් වුඩ් හමුවේ ශකීල්ගේ අගනා ඉනිම ලකුනු 94කින් හමාර විය.ඉන් අනතුරුව සෙසු කඩුලු තුන ලකුණු 37 කදී දවාගත් එංගලන්තය පක්ස්තානය තුල පළමු වට ටෙස්ට් තරඟාවලියක පහස වින්දේය.තම දෙවන ශතකය හේතුවෙන් මෙහිදී හැරී බෲක් තරඟයේ විරයා සම්මානය දිනාගත්තේය.

තරඟාවලිය පරාජයට පත්වූ නමුත් බාබර් අසාම් ප්‍රමුඛ පකිස්තානයට කරච්චි හිදී සිය ගෞරවය බේරාගනු හැකිවනු ඇති බවට බොහෝ විචාරකයින් මත පල කලේය.දිගින් දිගටම අසාර්ථක කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් වෙනුවට සාර්ථක ටෙස්ට් පිතිකරුවෙකු ලෙසින් සැලකෙන හිටපු නායක සෆ්රාස් අහමඩ් හට ඉඩක් ලැබිය යුතු බවද විචාරක මතය වූවා නමුත් විශේෂඥ පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමට එක්වන්නට අවකාශය ලැබුණේ ආරම්භක පිතිකරු ශාන් මසූඩ් හටයි.එමෙන්ම යොවුන් ක්‍රීඩක රෙහාන් අහමඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තේය.

පකිස්තානු පළමු ඉනිම ගෞරවාන්විත ලකුනු පුවරුවක් ලෙස දිස්විය.ලකුණු 304 ක් වූ පකිස්තානු පළමු ඉනිමට පිළිතුරු ලෙසින් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 354 ක් රැස් කලේය.තරඟාවලියේ රැස් කල තෙවැනි ශතකයද වාර්ථා කල හැරී බෲස් යලිත් එංගලන්ත පිතිකරණයේ වගකීම ඉසිලීය.පකිස්තානු දෙවන ඉනිම ලකුණු 216 කට සීමා කරන්නට යොවුන් ක්‍රීඩක රෙහාන් අහම්ඩට හැකිවිය.මංගල තරඟයේදී කඩුලු 5 ක් දවාගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් රෙහාන් වාර්ථා පොත් අලුත් කලේ ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගනිමිනි.

පූර්ණ තරඟයාවලි ජයග්‍රහණයක් සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.යලිත් සාර්ථක වූ බෙන් ඩකට් කලකට එංගලන්තයට අහකට කල නොහැකි ආරම්භක පිතිකරුවෙකු වග පෙන්නුම් කලේය.ඩකට්ගේ පිත්තෙන් නොදැවුණු ලකුනු 82 ක් එක්වූ අතර නායක ස්ටෝක්ස් ලකුණු 35 ක් නොදැවී රැස් කලේය.තරඟයේ වීරයා ලෙසින් 23 හැවරිදි බෲක්ස් සම්මාන දිනාගත්තේය.

තරඟාවයේදී ශතක තුනක්ද සමඟින් ලකුණු 468 ක් රැස් කල හැරී බෲක්ස් මංගල ටෙස්ට් තරඟාවලියක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කල එංගලන්ත පිතිකරුවා වන අතර තරඟයේ වීරයා ලෙසින්ද සම්මාන හිමිකරගන්නට ඔහු සමත් විය.

පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට බාබර්ගේ ටෙස්ට් නායකත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් තරඟාවලිය නිමා විය.එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ පකිස්තානු ගමන්මගද හමාර වූ අතර තම මව්බිමේදී වසරක් තුල වැඩිම ටෙස්ට් තරඟ ගණනක් පරාජය වූ නායකයා බවටද බාබර් වාර්ථා පොත් අලුත් කරද්දී වසරක් තුල වැඩිම ටෙස්ට් ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්ථා කල එංගලන්ත නායකයා බවටද වාර්ථා අතරට එක්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button